ශ්‍රී ලංකාවේ අතිශය සංවේදී සහ අද්විතීය ජෛව විවිධත්වයකින් හෙබි ලෝක උරුම හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආරක්ෂා කරගනිමින්, එහි යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ තිරසර පරිසර සංචාරක ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම අරමුණු කරගත් විශේෂ ඒකාබද්ධ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් සහ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින (29) හෝටන්තැන්න ජාතික වනෝද්‍යානයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමා ඇතුළු නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමා ඇතුළු නිලධාරීන් සහ හෝර්ටන් තැන්න උද්‍යාන භාරකරු ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීහු එක්ව සිටියහ.
මෙහිදී හෝර්ටන් තැන්න පරිසර පද්ධතියේ සුරක්ෂිතභාවය සහ නරඹන්නන් කළමනාකරණය කිරීම සඳහා පට්ටිපොළ සිට හෝර්ටන් තැන්න දක්වා වන මාර්ගයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයට ඇතුළු වන ස්ථානයට (පට්ටිපොළ දුම්රිය ස්ථානය පසුකර ආසන්න ප්‍රදේශයට) ටිකට් කවුන්ටරය ගෙන ඒමට රැගෙන ඒමට යෝජනා විය.
වනජීවී සහ වන සංරක්ෂණ කලාප තුළ සිදුවන නීතිවිරෝධී මිනිස් ක්‍රියාකාරකම්, කැලිකසල බැහැර කිරීම්, ශබ්ද දූෂණය සහ සතුන් දඩයම් කිරීම් වැනි හානි පාලනය කර පෙන්වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මාස 6ක නිරීක්ෂණ කාලයක් ලබා දෙන ලදී. ඒ අනුව ඉදිරි මාස 6 තුළ එම කලාපවල සිදුවන පරිසර හානි සාර්ථකව පාලනය කිරීමට නොහැකි වුවහොත්, ප්‍රවේශ පත්‍ර කවුන්ටර කඩිනමින් පහළ පිවිසුම් කලාප වෙත ගෙන ගොස් දැඩි මාර්ග සහ පිවිසුම් පාලනයක් ක්‍රියාවට නැංවීමට තීරණය විය.
හෝර්ටන් තැන්න සහ ඒ අවට ඇති සංවේදී ජෛව කලාප ආරක්ෂා කිරීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු එක්ව ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. විශේෂයෙන් වන සීමා මායිම් අනවසරයෙන් අත්පත් කරගැනීම සහ අනවසර ඇතුළුවීම් වැළැක්වීම පිණිස මායිම් මුර සංචාර සහ නිරීක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට උපදෙස් ලබා දෙන ලදී.
හෝර්ටන් තැන්න කලාපයේ පවතින දුරකථන සංඥා දුර්වලතාවලට ස්ථිර විසඳුමක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය (Starlink) සහ VPN තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන නවීන ඩිජිටල් ටිකට්පත් පද්ධතියක් ස්ථාපිත කිරීමටත්, ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) හරහා ඩිජිටල් යටිතල පහසුකම් කඩිනමින් යාවත්කාලීන කිරීමටත් එකඟතාව පළ විය.
උද්‍යානයට ඇතුළු වන සංචාරකයින් සංඛ්‍යාව දිනකට නිශ්චිත ප්‍රමාණයකට සීමා කිරීම (Cap on visitors), අන්තර්ජාලය ඔස්සේ පූර්ව වේලාවන් වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදයක් (Online Booking) හඳුන්වා දීම සහ මිල ප්‍රතිපත්තියක් (Pricing Strategy) මඟින් පරිසරයට වන පීඩනය අවම කර, ඉහළ ආදායමක් ගෙනෙන ගුණාත්මක සංචාරක ව්‍යාපාරයක් (High-End Eco-Tourism) ප්‍රවර්ධනය කිරීමට තීරණය විය.
සාම්ප්‍රදායික වාහන මඟින් පිටවන දුමාරය, කාබන් විමෝචනය සහ අධික ශබ්ද දූෂණයෙන් වනජීවීන්ට සහ පරිසරයට වන හානිය මුළුමනින්ම නැවැත්වීම සඳහා විද්‍යුත් වාහන සේවාවක් (EV Shuttle Service) හඳුන්වා දීමට යෝජනා විය.
මේ යටතේ පිවිසුම් දොරටු අසල පෞද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම් ස්ථාපිත කර, එතැන් සිට උද්‍යානය අභ්‍යන්තරයට සංචාරකයින් ප්‍රවාහනය සඳහා විද්‍යුත් වාහන පමණක් යොදවා පරිසර හිතකාමී නිහඬ කලාපයක් බවට හෝර්ටන් තැන්න පත් කිරීමට පියවර ගැනේ.

