ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන කාවන්තිස්ස ඇතාගේ වර්තමාන තත්ත්වය සහ ප්‍රතිකාර කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා වනජීවී පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් පිරිසක් සහ අමාත්‍යංශ නිලධාරීන් සමග ඊයේ 09/30 දින එම ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත විය.
ඇතාට ප්‍රතිකාර කරන නිකවැරටිය සහ ගල්ගමුව වනජීවී පශු වෛද්‍ය ඒකකයන්හි වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ පශුවෛද්‍ය ඉසුරු හේවකෝට්ට්ගේ මහතා, ආනන්ද ධර්මකීර්ති මහතා, චන්දන ජයසිංහ මහතා සහ පශු වෛද්‍ය අධ්‍යක්ෂ ගංගා විජේසිංහ මහත්මිය යන වෛද්‍යවරුන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුව සමග අනතුරුව ගරු අමාත්‍යතුමන් ගල්ගමුව වනජීවී නිලධාරි කාර්යාලයේදී ඇතාගේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කරන ලදී.
පසුගිය දින කිහිපය තුල ඇතාගේ තත්වය සම්බන්ධව සියුම්ව නිරීක්ෂණය කරමින් අවශ්‍ය වෛද්‍ය උපදෙස් මෙම කමිටුව මගින් ලබාදුන් අතර සියඹලංගමුව වැව ආසන්නයේ පිහිටි වන ලැහැබ තුලදි ඇතා නිර්වින්දනය කර ඉදිරි දකුණු පාදයේ තිබු තුවාලය සදහා ප්‍රතිකාර ලබා දීමි, ප්‍රතිජීවක ලබා දීම සිදුකර ඇත.
ඇතාගේ තත්වයට ඉන් ඇතිවූ සාධනීය කරුණු සම්බන්ධව පශු වෛද්‍ය අධ්‍යක්ෂ ගංගා විජේසිංහ මහත්මිය මෙහිදී අමාත්‍යතුමන් වෙත කරුණු පැහැදිලි කරන ලදී
ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර කටයුතු සහ නිරීක්‍ෂණ කටයුතු සිදුකිරීම පිළිබඳව ගරු අමාත්‍යතුමන් සාකච්ඡා කල අතර ජ්‍යෙෂ්ඨ වන ජීවී පශු වෛද්‍ය නිලධාරින්ගෙන් සමන්විත කමිටුව මගින්ම ඉදිරි කටයුතු සිදු කරන ලෙසද උපදෙස් ලබාදෙන ලදී.
ඇතාගේ තත්ත්වය පිළිබඳව අදාළ වෛද්‍ය කණ්ඩායම විසින් නිරන්තර පසු විපරමක් සිදුකරන ලෙස ද අමාත්‍යතුමන් වෛද්‍යවරුන් වෙත එහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.
ගල්ගමුව හා මීගලෑව වනජීවී කාර්යාල හරහා ඇතා සම්බන්ධව නිරීක්ෂණ කණ්ඩායම් යොමු කර ඇති අතර ඒ සම්බන්ධව දිනපතා පසුවිපරමක් සිදු කරන බවත් එය ඉදිරියටත් නිරන්තරයෙන් සිදු කරන බවත් මෙම අවස්ථාවට එක්වූ කුරුණෑගල කලාප භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා විසින් අමාත්‍යතුමන් දැනුවත් කරන ලදී

වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ වන ජීවින් ආරක්ෂා කිරීම වෙනුවෙන්, බඳින තුවක්කු ඇතුළු නීතිවිරෝධී ගිණිඅවි සම්බන්ධ වැටලීම් තවදුරටත් වැඩි කර ඔවුන්ට නිතිය ක්‍රියාත්මක කිරීමටත් නීති විරෝධී ලෙස හක්ක පටස් ඇතුළු ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමටත් පොලිසිය සමග එක්ව වැටලීම් සිදු කරන ලෙස අමාත්‍යතුමන් සහකාර අධ්‍යක්ෂ වරයාට උපදෙස් ලබාදෙන ලදී.
පරිසර අමාත්‍යතුමාගේ ක්ෂේත්‍ර නිරීක්ෂණයේදී වනජීවී ක්ෂේත්‍රයේ පශු වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ ගැටළු පිළිබදවද අවධානය යොමු කල අතර ඒවා විසදීම සදහා අමාත්‍යංශය සහ වනජීවී දෙපාර්තමේන්තුව සතුව පුළුල් වැඩපිළිවෙලක් පවතින බව ද එහිදී අමාත්‍යතුමන් සදහන් කළේය.
එමෙන්ම ආබාධයන්ට ලක්වන වන සතුන් සඳහා ප්‍රතිකාර සිදුකරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පණ්ඩුළගම මධ්‍යස්ථානය වෙතද ගොස් අමාත්‍යතුමන් නිරීක්ෂණය කල අතර එහි කටයුතු සිදු වන ආකාරය, නිලධාරීන්ට පවතින ගැටළු, යටිතල පහසුකම් පිළිබදවද විමසීමක් කරන ලදී.