මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කර ගනිමින් ‘සිසු සැරිය’ බස්රථ සේවාව අද (28) ආරම්භ කරනු ලැබීය. මෙම වැඩසටහන සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

මන්නාරම දිස්ත්‍රික්කයට පළමු වරට හඳුන්වා දෙන මෙම සේවාව යටතේ, මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා පාසල්වල සිසු දරුදැරියන් ප්‍රවාහනය කිරීම සඳහා පළමු බස්රථය යොදවා තිබේ. දිස්ත්‍රික්කයේ දරුවන්ට දීර්ඝ කාලයක් පුරා පවතින ප්‍රවාහන ගැටලු සඳහා මෙය සාර්ථක විසඳුමක් ලෙස සැලකේ.

2005 වසරේ ආරම්භ කරන ලද ‘සිසු සැරිය’ ජාතික වැඩසටහන යටතේ, උතුරු පළාතේ කිහිපයක් දිස්ත්‍රික්කවලට මෙතෙක් බස්රථ සේවා යොදවා නොතිබුණි. නමුත් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත්වීම මත බස්රථ 20ක් යොදවා පළමු අදියර ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද නිලධාරීන් සඳහන් කරයි.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, ‘සිසු සැරිය’ වැඩසටහන ආරම්භ වී වසර 20ක් ගතවූවත් මන්නාරම දිස්ත්‍රික්කයේ සිසුන්ට මෙවැනි සේවාවක් නොලැබීම ගැටළුවක් බවත්, එය නිවැරදි කිරීම සඳහා වත්මන් රජය ප්‍රමුඛත්වය ලබාදී ඇති බවත්ය.

මෙම සේවාව යටතේ සිසුන්, ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සාමාන්‍ය බස් ගාස්තුවෙන් අඩක් පමණක් අයකරන අතර, ඉතිරි මුදල රජය විසින් භාරගෙන යාමෙන් අධ්‍යාපනික ගමන් සඳහා සැලකිය යුතු ආර්ථික සහනයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහනට ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනගේෂ්වරන්, උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති එස්. විමලේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

මෙම නව සේවාව මගින් මන්නාරම දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපනික ගමන් පහසුකම් වැඩිදියුණු කරමින්, දිනපතා පාසල් ගමන්වලට නව ආරක්ෂාවක් සහ සුවපහසුවක් එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.