ශ්‍රී ලංකාව සහ මාලදිවයින ආවරණය වන රොටරි ජාත්‍යන්තර 3220 දිස්ත්‍රික්කයේ (RID 3220) රොටරැක්ට් විසින් සංවිධානය කරන ලද 'South-East Asia Rotaract Information Centre (SEARIC) Summit 2026' සමුළුව, සැප්තැම්බර් 11 සිට 13 දක්වා පෙගසස් රීෆ් (Pegasus Reef) හෝටලයේදී සාර්ථකව පවත්වා අවසන් විය. සාමාජික රටවල් 9 ක් සහ රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 25 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නියෝජිතයන් සහ තරුණ නායකයන් 550 කට අධික පිරිසක් සහභාගී වූ මෙම තෙදින ඓතිහාසික සමුළුව, මෙතෙක් පැවති විශාලතම SEARIC සමුළුව ලෙස වාර්තා අතරට එක්විය. දේශසීමා ඉක්මවා ගිය සහයෝගීතාව, නායකත්ව සංවර්ධනය, තාක්ෂණික ගවේෂණය මෙන්ම කලාපීය මිත්‍රත්වය වර්ධනය කරගැනීම සඳහා මෙම සමුළුව ප්‍රබල තෝතැන්නක් විය.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් PHF Rtn. Rtr. PP Dr. ජූඩ් ශැනන් ලුෂන් (Jude Shannon Lucian) මහතා මෙසේ ප්‍රකාශ කළේය: "SEARIC Summit Sri Lanka 2026 යනු අපගේ දිස්ත්‍රික්කය පුරා වසරකට වැඩි කාලයක් පුරා සිදුකළ කැපවීමෙන් යුතු සහයෝගීතාවයේ ප්‍රතිඵලයකි. ජාත්‍යන්තර රොටරැක්ට් සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම අප සැමගේ දිගුකාලීන සිහිනයක් වූ අතර, අපගේ ධුර කාලය තුළ එය යථාර්ථයක් වනු දැකීම නිහතමානී ආඩම්බරයකි. මෙවර සැප්තැම්බර් මාසයේදී අග්නිදිග ආසියාවෙන් සහ ඊට ඔබ්බෙන් වූ නියෝජිතයන් 500 කට අධික පිරිසක් අප රටට සාදරයෙන් පිළිගැනීමට ලැබීම, මෙම ඓතිහාසික සමුළුව පැවැත්වීම සඳහා සමස්ත කලාපයම ශ්‍රී ලංකාව කෙරෙහි තැබූ විශ්වාසය මැනවින් පිළිබිඹු කරයි. මෙම සමුළුව හුදු උත්සවයක් පමණක් නොව, පැහැදිලි අරමුණක් සහ සහයෝගීතාවයක් පෙරදැරිව කටයුතු කරන විට තරුණ නායකයන්ට කළ හැකි දෑ ලොවටම කියාපෑ කදිම සාක්ෂියකි."
සමුළුවේ සමාරම්භය සනිටුහන් කරමින් සැප්තැම්බර් 11 වන සිකුරාදා දින, ජාත්‍යන්තර නියෝජිතයන් අතර අන්තර් සබඳතා සහ සුහදතාව ගොඩනැංවීම උදෙසා කණ්ඩායම් හැඟීම ප්‍රවර්ධනය කිරීමේ (team-building) ක්‍රියාකාරකම් මාලාවක් පැවැත්විණි. එදින සන්ධ්‍යාවේ පැවති නිල සමාරම්භක උළෙල සාම්ප්‍රදායික පිළිගැනීමේ නර්තන, කලාපීය නායකත්ව පෙරහැර සහ සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලින් විචිත්‍රවත් විය. අනතුරුව, නේපාලය සිහිපත් කරමින් කෙටි නිහඬතාවයක් පැවැත්වූ අතර, වෝකර්ස් ටුවර්ස් (Walkers Tours) ප්‍රධාන විධායක නිලධාරී නාලක අමරතුංග මහතා, නේපාල තානාපති කාර්යාලයේ නියෝජිතයන්, MDIO නායකයන්, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ (SLCB) සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා සහ RID 3220 රොටරි දිස්ත්‍රික් ආණ්ඩුකාර කුමාර් සුන්දරරාජ් මහතා ඇතුළු ප්‍රධාන ආරාධිතයන් විසින් අදහස් දක්වන ලදී.

එහිදී අදහස් දැක්වූ රොටරි දිස්ත්‍රික් ආණ්ඩුකාර කුමාර් සුන්දරරාජ් මහතා:
"SEARIC සමුළුව වැනි අවස්ථා අපට මතක් කර දෙන්නේ අපගේ කලාපයේ අනාගතය අතිශය දක්ෂ දෑත්වල සුරක්ෂිතව පවතින බවයි. අපගේ රොටරැක්ටර්වරුන් විසින් විදහා දක්වන ශක්තිය, නවෝත්පාදනය සහ නොසැලෙන සේවා කැපවීම මා නිරන්තරයෙන් දිරිමත් කරයි. අප සැවොම එක්ව දේශසීමා යා කරමින් ‘දිගුකාලීන බලපෑමක්’ (Creating Lasting Impact) නිර්මාණය කරමින් සිටිමු."
එම සැඳෑව, 'අර්බුදයෙන් පසු සංචාරක කර්මාන්තයේ ප්‍රකෘතිමත්භාවය සහ ආගන්තුක සත්කාරය' පිළිබඳ විද්වත් සාකච්ඡාවකින්, 'Mr. and Ms. SEARIC' තරඟාවලියේ මූලික වටයෙන් මෙන්ම නිල පිළිගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයකින් සමන්විත විය. සෙනසුරාදා දින වැඩසටහන අනාගතවාදී නවෝත්පාදන සහ සංස්කෘතික උරුමයන් ඉස්මතු කිරීමට වෙන් කර තිබුණි. සහභාගී වූ දිස්ත්‍රික්ක විසින් කලාපීය සංගීතය, නැටුම් සහ විචිත්‍රවත් සංස්කෘතික ප්‍රසංග ඉදිරිපත් කරන ලදී. තවද, අනාගත වෘත්තීය ක්ෂේත්‍ර සහ සමාජ බලපෑම් සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) ප්‍රායෝගිකව යොදාගත හැකි ආකාරය පිළිබඳ අන්තර්ක්‍රියාකාරී අධ්‍යාපනික සැසිවාරයක් පැවැත්විණි. තරුණ නව නිපැයුම්කරුවන් විසින් නිර්මාණය කරන ලද නවීන තාක්ෂණික විසඳුම් එළිදැක්වීම සඳහා 'Rotaract Disrupt' අංගයද මෙම වේදිකාවේදී පැවැත්විණි. කලාපීය නායකත්ව සාකච්ඡාවලින් අනතුරුව, අවසන් 'Mr. and Ms. SEARIC' කිරුළු ප්‍රදානය කෙරුණු මහා අවසන් ගාලා රාත්‍රියෙන් (Grand Finale Gala Night) එදින කටයුතු නිමාවට පත්විය.
සමුළුවේ අවසන් දිනය වූ සැප්තැම්බර් 13 වන ඉරිදා දින ආරම්භ වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් මහතා විසින් මෙහෙයවන ලද විශේෂ සැසියකිනි. අනතුරුව සමුළුවේ සමාප්ති සහ සම්මාන ප්‍රදානෝත්සවය පැවැති අතර, එහිදී දිස්ත්‍රික් සහභාගීත්වය, දස්කම්වල විශිෂ්ටත්වය, ව්‍යාපෘති නවෝත්පාදනය සහ පුද්ගල නායකත්වය ආදී ක්ෂේත්‍ර රැසක් යටතේ දැක්වූ සුවිශේෂී දායකත්වයන් ඇගයීමට ලක් කෙරිණි. දිස්ත්‍රික් නායකත්වයේ නිල සමාප්ති අදහස් දැක්වීමෙන් අනතුරුව, කොළඹ නගරය නැරඹීමේ සංචාරයක් සහ දේශීය සාප්පු සවාරියක් සමඟින් නියෝජිතයෝ තම සති අන්තය සාර්ථකව නිමා කළහ.