ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ 15 වන වාර්ෂික හරිත ගොඩනැගිලි සම්මාන උළෙල පරිසර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලංකා හරිත ආර්ථික සංසදය සමඟ එක්ව පවත්වනු ලබන Green building council of sri lanka (GBCSL) ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ 15 වන වාර්ෂික හරිත ගොඩනැගිලි සම්මාන උළෙල අද (10/28) පස්වරුවේ ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.
මෙම සම්මාන උළලේදී නව හරිත තාක්ෂණ මුලපිරීම් ආදිය කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, මෙහිදී තිරසර ඉදිකිරීම්, තිරසාර නිෂ්පාදන සහ තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමේදී ආයතනික නායකත්වය යන ක්ෂේත්‍රවල කැපී පෙනෙන ජයග්‍රහණ හඳුනාගෙන සම්මාන ප්‍රදානය කරනු ලැබිය.
කැපී පෙනෙන හරිත වෘත්තීය, කැපී පෙනෙන හරිත කැපවීම් සම්මාන, හරිත ව්‍යාපාර නායකත්ව ආදී ක්ෂේත්‍ර ගණනාවක් යටතේ විශිෂ්ඨයන්ට මෙහිදී පරිසර අමාත්‍යතුමන් අතින් සම්මාන හිමි විය.
ලෝක හරිත ගොඩනැගිලි කවුන්සිලය (WGBC) සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම අවස්ථාවට කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත් කොටගම මහතා, ප්‍රතිපත්ති සම්පාදකයින්, ජාත්‍යන්තර හරිත නායකයින්, ආයතනික නායකයින්, ගොඩනැගිලි කර්මාන්ත වෘත්තිකයන්, මූල්‍යකරුවන්, සංවර්ධකයින්, කර්මාන්තකරුවන්, ශාස්ත්‍රඥයින් සහ පර්යේෂකයින් ඇතුළු ඉහළ පෙළේ සම්භාවනීය අමුත්තන් 350 කට අධික පිරිසක් සහභාගී විය.
මීට අමතරව, මෙරට හරිත මූල්‍ය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති විශ්ව විද්‍යාල සහ ප්‍රමුඛ ශ්‍රී ලාංකික බැංකු ආයතනද මේ සදහා එක් වීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය, ලොව විශාලතම හරිත ව්‍යාපාරය වන ලෝක හරිත ගොඩනැගිලි කවුන්සිලයේ සාමාජිකයෙකු වන අතර එය රටවල් 85 කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරනු ලබයි.
ඒ අනුව එය ශ්‍රී ලංකාව පුරා ගොඩනැගිලි, ගොඩනැගිලි ද්‍රව්‍ය, නගර, පාසල්, නිවාස, ප්‍රවාහන යටිතල පහසුකම්, කාර්මික කලාප ආදියෙහි පාරිසරික ක්‍රියාකාරිත්වය තක්සේරු කිරීමට සහ සහතික කිරීමට සම්පූර්ණයෙන්ම සන්නද්ධ වූ අංගසම්පූර්ණ හරිත අනුමත සංවිධානයකි.
ඒ තුලින් ලොව පුරා දේපල හා ඉදිකිරීම් වෙළඳපොළට සාධාරණ, තිරසාර සහ ඔරොත්තු දෙන ගොඩනැගිලි, නගර සහ ප්‍රජාවන් සංවර්ධනය කිරීමට හැකියාව ලබා දෙයි.
ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගත යහපැවැත්ම සඳහා පරිසරය ආරක්ෂා කිරීමට පරිසර අමාත්‍යංශය ප්‍රමුඛ ආයතන දක්වන කැපවීමට ශක්තියක් ලබා දීම තම අරමුණ බවයි.
ශ්‍රී ලංකාවේ පාරිසරික තිරසාරභාවය සහ තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමේදී ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයේ සියලු ඉලක්ක සපුරා ගැනීම සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද එම කවුන්සිලය පෙන්වා දෙයි.