"සුපිළිපන් රාජ්‍ය සේවයක් සහ ජනතාවාදී පාලන ව්‍යුහයක් රට තුළ ඇතිවෙමින් පවතින බවට වන විශ්වාසය රජයක් ලෙස අප ජනතාවට තහවුරු කළ යුතුයි"
-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-
දූෂණයෙන් හා වංචාවෙන් තොර, කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුත් සුපිළිපන් රාජ්‍ය සේවයක් සහ ජනතාවාදී පාලන ක්‍රමයක් රට තුළ ඇතිවෙමින් පවතින බවට වන විශ්වාසය රජයක් ලෙස ජනතාව වෙත තහවුරු කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
රාජ්‍ය අමාත්‍යාංශයීය මට්ටමින් ක්‍රියාත්මක වන සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීමේ වැඩසටහනට සමගාමීව 2026.07.27 දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති අධ්‍යාපන අමාත්‍යාංශයීය ජාතික සුපිළිපන් සතිය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන සඳහා එක්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.
මෙම ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා ක්‍රියාත්මක වන අතර, එහි කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලය සහ 'ක්ලීන් ශ්‍රී ලංකා' ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙහෙයවනු ලබයි.
වත්මන් රජයේ ප්‍රමුඛතම අභිලාෂයක් වන ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවය දූෂණයෙන් තොර, ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරිදෘශ්‍යභාවය අතින් ඉහළ පරිපාලන ව්‍යූහයක් බවට පත් කිරීමේ කර්තව්‍යය සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය අවකාශය සැලසීම මෙම සතිය ප්‍රකාශයට පත් කිරීම ඔස්සේ සිදුවෙයි.
ඒ අනුව පොදුජනතාවගේ යහපතට ප්‍රමුඛතාව දෙන, ස්වයං විනයකින්, ස්වයං පාලනයකින් සහ ස්වයං අධීක්ෂණයකින් යුතු, විනිවිදභාවයකින් හා සදාචාරාත්මකව සේවයේ නියැළෙන රාජ්‍ය සේවකයෙකු බිහි කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
එහිදී එම සුපිළිපන් සතිය තුළ දක්වා ඇති තේමාවන්ට අනුව සෑම අමාත්‍යාංශයක්ම, ඒවා යටතේ ඇති සියලුම ආයතනද සම්බන්ධ කර ගනිමින් හඳුනාගත් ක්‍රියාකාරකම්වල නිරත වීමට නියමිතය. ජනතාවට සිදුවන අපහසුතා සහ දූෂණ ක්‍රියා පිළිබඳ දැනුම්වත් කිරීමට සහ ඒ පිළිබඳ ආයතන ප්‍රධානීන් ගන්නා ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම සඳහා විශේෂිත ඩිජිටල් පද්ධතියක්ද මෙම වැඩසටහන හරහා එළිදැක්වීමට සැලසුම් කර ඇත.
මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජාතික සුපිළිපන් ප්‍රතිඥාව දිවුරුම් දුන් අග්‍රාමාත්‍යවරිය, වැඩිදුරත් අදහස් දක්වමින් මෙසේද පවසා සිටියාය.
පුරවැසියන් හැටියට අප රාජ්‍ය සේවයෙන් බලාපොරොත්තු වෙන්නේ සුපිළිපන් සංස්කෘතියක් තියෙන කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමයි. එබැවින් මෙම සුපිළිපන් සතිය වැඩසටහන යථාර්ථවාදී සහ ප්‍රායෝගික දෙයක් බවට පත් කරගන්න අප උත්සාහ කළ යුතුයි.
ජනතාවට අතිවිශාල බලාපොරොත්තුවක් තියෙනවා දූෂණයට තිත තියෙන, කාර්යක්ෂම, ජනතාවාදී පාලනයක් සහ එවැනි සංස්කෘතියක් රට තුළ බිහිවෙයි කියලා. එම වගකීම රජයක් ලෙස අප භාරගෙන ඇති බවට විශ්වාසය ජනතාවට ලබා දීමේ එක පියවරක් ලෙස තමයි මෙම සුපිළිපන් සතිය වැඩසටහන 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන සමඟ එකතුවී සිදුකරන්න යන්නේ.
අප සියලුදෙනාම පුරවැසියන් හැටියට සේවයක් ලබා ගැනීමේදී එහි සුපිළිපන්භාවය සහ සාධාරණත්වය බලාපොරොත්තු වෙනවා නම්, මුලින්ම ඒ වෙනස අප තුළින්ම ඇති විය යුතුයි කියන ඒ හැඟීම තමයි ඔබ අද දුන් ප්‍රතිඥාව ඔස්සේ පිළිබිඹුවන ප්‍රධාන කරුණක් වන්නේ.
රටේ ජනතාවට දැඩි ලෙස දැනෙන සේවා දෙකක් තමයි සෞඛ්‍ය සහ අධ්‍යාපනය කියන්නේ. එම සේවා දෙක උපරිමයෙන් ම ලබාදීමේ වගකීම අප සියලුදෙනාටම තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්රය තුළ කටයුතු කරන නිලධාරීන් ලෙස ඔබ තීන්දු තීරණ ගන්න විට සුපිළිපන්භාවය රැකගත යුතුයි.
ඒ වගේම, අප ළඟට එන ජනතාවගේ ගැටලුවලට ඇහුම්කන් දෙමින්, ඒවාට විසඳුම සහ උත්තර අප ලබා දෙනවා කියන විශ්වාසය ජනතාවට දැනෙන ආකාරයෙන් අප කටයුතු කළ යුතුයි. ලබැඳියාවන් මත අසාධාරණයන් සිදු නොවන තීන්දු තීරණ ගන්නත් අප සැලකිලිමත් විය යුතුයි.
සියලු දෙනාට සාධාරණත්වය තහවුරු කරන අතර ම අපගේ මූලිකම අරමුණ විය යුත්තේ දරුවන්ට හොඳම දේ ලබා දීමයි. එමෙන්ම වැඩිහිටියන් හැටියට අප දෙන ආදර්ශය, අප ගන්නා තීන්දු අපේ දරුවන්ට බලපාන ආකාරය සම්බන්ධයෙන් අමතක කරලා අපට තීන්දු තීරණ ගන්න බෑ.
මෙම සුපිළිපන් සතිය වැඩසටහන ඔස්සේ ඔබට අවස්ථාව උදාවී තියෙනවා, හෘද සාක්ෂිය අවදි කරගන්න. ඔබ හෘදය සාක්ෂියට ඉඩ දුන්නොත් සාධාරණත්වය වෙනුවෙන් අප පෙනී සිටියා කියන ඒ විශ්වාසය අපට ඇති කරගන්න පුළුවන්.
ඒ වගේම, අපට අවශ්‍ය වන සමාජය සෑදීම නීති පනවලා විතරක් කරන්න බෑ, එය අධ්‍යාත්මික වගේම සංස්කෘතික වශයෙන් සිදුවිය යුතු දෙයක්. හෘද සාක්ෂියකින් යුත් පුරවැසියන් ලෙස අප ක්‍රියාකරන්නේ නැත්නම් අපට අවශ්‍යවන සමාජය හදන්න බෑ. මෙම වැඩසටහන අපව එම මාර්ගයට යොමු කරන හොඳ රුකුලක් වේවි.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.